සිරගතව අවුරුදු 10කට පසු බිරිඳගේ මළගමට නිවසට ගිය ආනන්ද සුදාකර්ගේ අනුවේදනීය කතාව

March 26, 2018 | 10:05 am    0   425

සිරගතව අවුරුදු 10කට පසු බිරිඳගේ මළගමට නිවසට ගිය ආනන්ද සුදාකර්ගේ අනුවේදනීය කතාව

අවුරුදු 10ක් ගතවූ තැන ඔවුන් නැවත මුණගැසෙයි. රතු කුංකුම මැදැඟිල්ලට තවරා ඔහු ඇගේ නළලත තැබූ තිලකය සෙමින් පිරිමදියි. සෙමින් හුස්මක් ඉහළට ගෙන දෑස් විවර කරයි.
මංගල රාත්‍රියේ ඇය සැරසී සිටි පච්චවඩම් මලින් හැඩවූ තද රතු සාරිය කිසිවෙකු විසින් ඔහු අත තැබුවේ ඇගේ නිසල දේහය මත ඇතිරීමටය.
කහ, සුදු රෝස පොහොට්ටු මල් මාලය අතට ගෙන මොහොතක් ඇගේ මුහුණ දෑතින්ම අතගා ඇගේ කර පලන්දන්නට සැරසෙද්දීම මෙතෙක් වේලා කිටි කිටියට තෙරපාගෙන සිටි සුසුම් පොදි කඳුළු බැම්මෙන් කඩා පනින්නට වුණි.
ඔහුට ඔවුන්ගේ මඟුල් දා සිහිවන්නට ඇත. කහ, සුදු රෝස පොහොට්ටු මල් මාලය ඇගේ කරට පැලැන්දූ මොහොතේ, සෙමින් අඩවන් කළ දෑස් කොනින් බිම බලා සිනාසුණු ඇගේ මුදු බැල්ම ඔහුට සිහිවන්නට ඇත.
ඔහු නමින් ආනන්ද සුදාකර්. 2008 වසරේදී කොළඹ බෝම්බ තැබීමේ සිද්ධියකට වරදට හසුවී ජීවිතාන්තය දක්වා සිරගතව සිටියි.

පසුගිය 16 වනදා ඔහුගේ බිරිඳ යෝගරාණි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර 18 වන දින ඇයගේ අවසන් කටයුතු කිලිනොච්චිය මරදනගර් හි ඔවුන්ගේ නිවසේදී සිදුවුණි.
සිය බිරිඳගේ අවසන් කටයුතු දැකබලා ගැනීමට අවස්ථාව ලබාදෙන මෙන් ආනන්ද සුදාකර් විසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම අවස්ථාව ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු සලසා දී තිබුණි.

සිය බිරිඳගේ අවමංගල්‍යයට සහභාගි වී ආනන්ද පිටත්වීමට බන්ධනාගාර බස් රථය වෙතට ගොඩවෙද්දී හඬා දුවගෙන එහි එන ඇගේ එක් දියණියක් ඔහුගේ අත එල්ලීගෙන ඒ බස් රථයටම ඔහුත් සමග ගොඩවෙයි.
“අප්පා, උඹ යන නරා වළකට මාවත් එක්කං පලයං අප්පා… නිදහස් කියලා මට ජීවත්වෙන්න තියෙන ලෝකෙට වඩා උඹ එක්ක කූඩුවක් ඇතුළේ ඉන්න එක මට සැපයි.”
අෑට එවෙලේ එහෙම සිතෙන්නට ඇත.

සිය ලෙයින් උපන් දියණියගේ හදවතේ වේදනාව අනෙක් තාත්තලාට සේම ආනන්දට ද දැනෙන්න ඇත. කොහොමටත් දුවලාගේ හදවතේ තාත්තලාගේ ආදරේ ඇත්තේ පළවෙනි තැනටය.
මේ ගමන, අෑ කැටුව යා නොහැකි ගමනක් බව එවෙලේ අෑට පහදා දෙන්නට තරම් ආනන්දගේ හිත හයිය නොවුණ තැන, බන්ධනාගාර නිලධාරීන් ද අතිශය සංවේගයට පත්කරමින් ආනන්දට හැඬුම් එන්නේ…. සිද්ධිය දුටු බොහෝ දෙනොගේ ද දෑස කඳුළින් තෙත් කරවමිනි.

මේ තරම් නිස්සාර දෙයක් පසුපස ආනන්ද ලුහු බැඳ ගිය බව යාන්තමටවත් සිතන්නට පුළුවන් වුණා නම්, අද ආනන්ද මතු මහල් සඳළුතලවල නැතත් සෙනෙහස බෙදාගන්නා පවුල වෙනුවෙන් හීනයක්වත් දකින්නට සිතනවා ඇත.
යුද්ධයක් විසින් කිසිදිනක මිනිසුන් හදා වඩා තැනුවේ නැත. එය හරියට අතු පතර විහිදා සෙවණ සලසන මහා වෘක්ෂයක් විස කටුවකින් ඇණ බිමට සමතලා කරනවා වැනි දෙයකි. ඒ තුළ ජීවත් වූ සෑම ප්‍රාණියෙක්ගේම ජීවිතවල එතැන් සිට ආරම්භ වන්නේ දුක්ඛාන්තයකි.

ආනන්ද – යෝගරාණි යුවළට දරුවන් දෙදෙනෙකි. ආනන්ද සිරගත කරන්නේ 2008 වර්ෂයේදීය. මේ ගෙවෙන්නේ 2018 වර්ෂයයි. එනම් යෝගරාණි සිය සැමියාගෙන් වෙන්කළ අවුරදු 10 කි. දරු සිඟිත්තන් සිය අප්පාගෙන් වෙන්කළ අවුරුදු 10කි.
නිදහස යැයි හඳුන්වා දුන් උගුලකට හසුවී, නිදහස සොයා ගිය ආනන්දගේ ජීවිතය සිරකරන්නට සිදුවූ අවුරුදු 10කි.

ආනන්ද සිරගතව ගෙවන්නට වන ජීවිතයේ දුරස්ථ බව යෝගරාණි දරාසිටි අවුරුදු 10කි.

අවසන අෑ නම් දැන් නිදහස්ය. ආනන්ද පමණක් නැවත තනිව ජීවිතාන්තයටම සිරගත විය යුතුය.

ආනන්දලාගේ පරම නිදහස වෙනුවෙන්, ස්වකීය භූමියේ අයිතිය වෙනුවෙන් කියා ලෙයට ලෙය පුදා දී සිටි මායාව පමණක් ඔහුට ජීවිතාන්තය දක්වාම නිදහසේ ඉගෙන ගන්නට පාඩමක් ඉතිරි කර තබා ගොස් ඇත.
එදා ඔවුන්ට මවා පෙන්වූ ක්ෂේම භූමියක්වත් එහි ඉන්දවූ කල්ප වෘක්ෂයක්වත් නැති බව ආනන්දලාට තේරුම් යනදාට ඔවුන්ගේ දෙවියෝත් ප්‍රාදූර්භූත වී ගොසින් ය.
ආනන්දලා නැවත පියවි සිහියට පත්වන තැනදී යෝගරාණිලා බොහෝ ගණනක් ද ඔවුන්ගේ ජීවිතවල පිපාසාවෙන්ම හෙම්බත් වී නික්ම ගොසිනි.

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට ආසන්න කාලයක් පුරාවට පැවති යුද්ධය අවසන එක් පාර්ශ්වයකට ජයග්‍රහණයක් ද අනික් පාර්ශ්වයට පරාජය ද අත්වීමෙන් සියල්ලම අවසන් වූවා යැයි යමෙක් කියයි නම්, මට එයට කියන්නට ඇති වචනය නින්දෙන් ඇහැරෙන්න යන්නය. පශ්චාත් යුද්ධය විසින් සමාජයක් පත්කර ඇති දුක්ඛිත යථාර්ථය හමුවේ, ආනන්ද යනු එකම එක ජීවිතයක් පමණි. එවැනි ජීවිත ලක්ෂ ගණනකි. ඔවුන් සිහින දකින්නට බිය වෙති. ඔවුන්ගේ පංචේන්ද්‍රිය වැඩ කරනවා දැයි කියාවත් ඔවුන් නොදනිති.

පශ්චාත් යුද්ධය විසින් ඔවුන් ලත් දායාදය නම් එපමණකි.
ජයග්‍රහණය කළ පාර්ශ්වයට ද පරාජය වූ පාර්ශ්වයට ද කියා වෙනස්කොට සැලකීමක් එහි නැත.
එයට ‍ෙදාස් නැගීමට තරම් අපි නිර්දෝෂ නැති බව ද කිව යුතුය.

යුද්ධය එතරම්ම බිහිසුණුය. එය කිසිවෙකුටත් සාධාරණීකරණය කිරීමට අයිතියක් නැත. ඒ පිළිබඳව ඔබට යමක් කීමට අවැසි නම් ඒ මනුෂ්‍යත්වයේ නාමයෙන් පමණි.
ආනන්දලාගේ ද, යෝගරාණිලාගේ ද, තිලකසිරිලාගේ ද, සෙනෙහෙලතාලාගේ ද ජීවිත තුළ යුද්ධයෙන් ඉක්බිති ඉතිරි කළ සදාතනික වස්තු සම්භාරයට කියා ඇත්තේ බලාපොරොත්තුවලින් හිස්කළ ජීවිත දුක්ගැහැට පමණි.

එයට උතුර-දකුණ, සිංහල-දමිළ, කියා ලේබලයක් අවැසි නැත.
එය හුදු මනුෂ්‍යත්වයේ ලේබලයෙන් පමණ අලවා බැලිය යුතුය.

අනුපමා ගල්කඩවල

“උඹයි මායි
පරණ තැබෑරුමක මුණගැහුණනං
අපි දෙන්නට
පොඩි අඩියක් ගහන්ඩත් තිබුණා

පාබල හමුදාවෙ අණට යටත්ව
බැරෑරුම් කරගත්තු මූණුවලින් බලාගෙන
මං උඹට වෙඩි තිබ්බා, උඹ මටත්
එතනම…

සමහරවිට උඹත් මං වාගේම
හිස් අතින් ඇවිත්
එක්කෝ බාගදාට උකස සින්නවෙන්ඩ යන්ඩ හින්දා
මේ ගොඩට එකතු වෙන්ඩ ඇති

මං උඹට තිබ්බෙ
උඹ මගේ හතුරා…
ඔව් ඉතිං උඹ මගේ හතුරා… හින්දා… විතරයි
වෙන මොකක්වත් පැහැදිලි නෑ….”

තෝමස් හාඩිගේ
The Man He Killed
පද්‍යයේ අනුවර්තනයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: