ඡන්දෙ ඉල්ලන පුදුම මිනිස්සු තිස්ස ප්‍රාදේශීය සභාවේ කුමුදු අයියා – කුමුදු සුජීව ප්‍රියන්ත

January 1, 2018 | 4:33 pm    0   1977

ඡන්දෙ ඉල්ලන පුදුම මිනිස්සු තිස්ස ප්‍රාදේශීය සභාවේ කුමුදු අයියා – කුමුදු සුජීව ප්‍රියන්ත

අද සිට දිග හැරෙන ‘අමුතු මිනිස්සු’ පිටුවේ නිමිත්ත, පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයයි. මේ මැතිවරණයේ හමුවන මිනිසුන් මහපොළොවේ පය ගසා සිටින මිනිසුන් යැයි අපි විශ්වාස කරමු. ගෙදරක්, ගෙදරක් ගාණේත්, ගහක් කොළත් ගාණේත්, ඇළක් ‍ෙදාළක් ගාණේත්, මනුස්සයෙක් මනුස්සයෙක් ගාණේත් දන්නා මිනිස්සු, විවිධ පක්ෂවලින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙති. ඔවුන් අතරේ සිටින අමුතු මිනිස්සු සොයා යන ගමනක ඇරඹුම මෙසේ සටහන් කරමු.

කුමුදු මට හමුවන්නේ තිස්සමහාරාමයේදීය. ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් ‘තිහවාදිය’ දිනය හරියටම මතක නැති වුණත් මීට අවුරුදු තුන හතරකට එපිටදීය. ඔහු එදින,
‘ඔබ අෑත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ – ලොව නිඳනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්න….
ගායනා කළේ තිස්ස වැවට වැටුණු සඳ සෙවණැලි අතරතුරය. එදින මම මුල්ම වතාවට, ඒ මිනිසාට ආදරය කරන්න පටන්ගතිමි. ‘කුමුදු සුජීව ප්‍රියන්ත’ නම් වූ ඔහු මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකි.

එල්.එච්.ලැන්ටිස් සිල්වා සහ සීතා ලීලාවතීට දාව 1970දී කුමුදු සුජීව ප්‍රියන්ත උපත ලබන්නේ හයදෙනෙකු සිටින පවුලේ පස්වෙනියා ලෙසිනි. යටාල, තිස්ස ප්‍රාථමික විද්‍යාලයෙනුත්, දෙබරවැව ජනාධිපති විද්‍යාලයෙනුත්, අධ්‍යාපනය හදාරන කුමුදුගෙ පාසල් කාලය අතිශය තීරණාත්මක කාලයකි. 88-89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලයත්, එම නිසාවෙන්ම නිර්මාණය වුණු සමාජ, දේශපාලනික ආර්ථික වටපිටාවත් කුමුදුගේ පාසල් ජීවිතයට තදින්ම බලපාන්නට විය.

“මගේ අයියා නිමල් ගාමිණී. එයා ජ.වි.පෙට සම්බන්ධ වෙලා හිටිපු කෙනෙක්. එයා මාව පක්ෂයට සම්බන්ධ කරගන්න පන්ති පවා කරන්න එන්න කිව්වත් මම ගියේ නෑ. අපේ ගම් පළාතේ ගොවිතැන් බතින් පොහොසත් වුණත්, ජීවිත අතින් බොහොම දුෂ්කර ජීවිත ගත කරන මිනිස්සු ඉන්න ගමක්. ඉස්කෝලෙ යන කාලෙ දවසක් මම දැක්කා ගෙදරක අවුරුදු හය හතක කෙලි පොඩිත්තියක් අවුරුදු තුනක විතර දරුවෙක් නළවනවා. ඒ දරුවගෙ ඇස්වල කඳුළුයි, ඇගේ දාඩියයි විතරයි මම දැක්කේ. අපේ ගම්වල ගොඩක් ගෙවල්වල ඔය දර්ශනේ දකින්න පුළුවන්. එදා තමයි මට හිතුණේ ජ.වි.පෙට සම්බන්ධ වෙන්න ඕනි කියලා. මොකද අපේ පන්තියේ මිනිස්සු ගැන දන්නේ සහ ඔවුන් වෙනුවෙන් සටන් කරන්නේ ජ.වි.පෙ. නිසා මම පක්ෂයට සම්බන්ධ වුණා. පන්ති පහම කළා. ඊට පස්සේ මම උසස් පෙළ කළේ අපේ රටේ තිබුණු අවාසනාවන්තම යුගයක. ඒ 1988 – 89 කාලෙ. මම ඉස්කෝලෙට ආවේ කුඹුරුයායවල්වලයි, යාල කැලෙයි හැංගිලා ඉඳලා. අක්කර සිය ගාණක කුඹුරු යායවල් මැද්දේ ගොයම් ගස්වලට මුවා වෙලා, නියරවල් මැද නිදාගෙන රැයවල් ගත කරලා තියෙනවා. යාල කැලේ මායිමේ, ගස් ගල්වල රැයවල් ගත කරලා තමයි මම උසස්පෙළ කරන්න ඉස්කෝලෙට එන්නේ. එහෙම කරලත් මම බයෝවලින් උසස්පෙළ ලියලා. සී දෙකයි, එස් දෙකයි ගත්තා.”

ඒ කුමුදුගේ ඉතිහාස කතාව. කෙසේ වෙතත් තිස්සමහාරාම මිනිසුන්ගේ අධිෂ්ඨානයන් ප්‍රබල බව, ඉතිහාසයත්, වර්තමානයත් සාක්ෂි දරන්නේය. 2002 වර්ෂයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජනතා විමුක්ති පෙරමුණ සතු වන්නේ එවැනි අධිෂ්ඨානවන්ත මිනිසුන්ගේ උවමනාව නිසාවෙනි.

“2002 ප්‍රාදේශීය සභා මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී මැතිවරණයක් වුණා. අපිට බලාපොරොත්තුවක් තිබුණා තිස්ස ප්‍රාදේශීය සභාව අපේ බලයට ගන්නවම කියලා. නමුත් ඡන්ද ගණන් කරලා ප්‍රතිඵල නිකුත් වෙනකන් අපිට හිතාගන්න බැරිවයි හිටියේ. මම එදා ගණන් කරන මධ්‍යස්ථානයට ගියේ නෑ. නමුත් පාන්දරම මට ආරංචිය ආව අපි තිස්ස ප්‍රාදේශීය සභාව බලය ඇල්ලුවා කියලා. ඒ ආරංචිය එනවත් එක්කම මිනිස්සු 200ක් විතර අපේ ගෙදරට ඇවිත්. මම ඒ වෙලාවෙම ගෙදර පඩියක් උඩට නැගලා රැස්වීමක් තිබ්බා. මිනිස්සු සතුටේ සහ බලාපොරොත්තුවේ උපරිම තැනක ඉන්නවා දැක්කෙ මම එදා. ඒ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ හැමදෙයක්ම පිටාර ගලන්න ගත්තා.

කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒ ජයග්‍රහණය වෙනුවෙන් තිස්සෙ තියෙන සෑම පන්සලකම ඝාණ්ඨාර ගහන්න ගත්තා. වීදි පුරා පෙළපාලි යන්න ගත්තා. එක දිගටම දවස් තුනක්. තිස්සෙ මිනිස්සු ඒ ජයග්‍රහණය සැමරුවා.”

ඒ කතාව කියද්දි කුමුදුගේ දෑස් දීප්තියෙන් බබළන හැටි මම බලා සිටියෙමි. 2002 සිට මේ දක්වාම කුමුදු මිනිසුන් වෙනුවෙන් කැපවෙයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියි. අරගල කරති. ඒ නිසාම කුමුදු 2002 සිට මේ දක්වාම තිස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වෙයි. එපමණක් නොව ඔහුගේ මූලිකත්වයෙන් තිස්ස සහ අවට ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාවන් වැඩි දියුණු කිරීමට ‘හයිස්ටඩ්’, ‘දිසාපා’ නමින් අධ්‍යාපන ආයතන දෙකක් පවත්වාගෙන යයි. එයින් අධ්‍යාපනය ලැබූ දරු දැරියන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයකි.

“මට හො¼දටම විශ්වාසයි අපි මෙවර නැවත වතාවක්, තිස්ස ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනවා. එදා වගේම අදත් මිනිස්සුන්ගේ උවමනාව ඒ සඳහා තියෙනවා. මෙවර මැතිවරණයේ අපේ ප්‍රධානම හතුරා එක්සත් ජාතික පක්ෂය. ඔවුන් රවටන්න පුළුවන් උපරිම විදිහෙන් තිස්සෙ මිනිස්සු රවටමින් ඉන්නවා. ඒ කොහොම වුණත් මිනිස්සු ඒවට රැවටෙන්නෙ නෑ. අපි තිස්ස ප්‍රාදේශිය සභාවෙ බලය 2002දි ගත්තයින් පස්සේ, අපේ සභාව තමයි ලංකාවෙන් පිරිසිදුම ප්‍රාදේශීය සභාව වුණේ.

ඒත් දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඩෙංගු අවදානම වැඩියෙන්ම තියෙන ප්‍රාදේශීය සභාව තිස්ස. නැවත වතාවක්, අපේ අධිෂ්ඨානයේ පුරවරය අපි ගොඩනගනවා.”

ඒ කුමුදුගේ ප්‍රාර්ථනයන්ය. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දාන්න යැයි කුමුදු ගෙයින් ගෙට ගොස් මිනිසුන්ට කරුණු පහදා දෙයි. කුමුදු තම ආදරණීය බිරිඳ සදීකා මධුභාෂිනීත්, දරුවන් දෙදෙනාත් සමඟ ඒ ප්‍රාර්ථනය වෙනුවෙන් කැපවී සිටියි. එම උත්තුංග ප්‍රාර්ථනාව තරමටම ඔහු මිනිසුන්ව විශ්වාස කරයි. මේ එළැඹී ඇත්තේ එම අධිෂ්ඨානයේ පුරවරය නැවත බිහි කිරීමේ ඡන්ද විමසීමයි. මිනිසුන් වෙනුවෙන්ම කැපකිරීම් කරන මේ පුදුම මිනිසාට ආදරය කරන මිනිසුන් කොපමණ සිටී දැයි 2018-02-10 දින පවත්වන ඡන්දයේ ප්‍රතිඵල සටහන අනුව වටහා ගත හැකිය.

සංජක ප්‍රසාද් ‍දොලේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: