අවුරුදු 20ක් එකම කමිසය අඳින කොටි මරා දැමූ හමුදාවේ පළමු සෙබළියගේ තාත්තා කියන පුදුම කතාව

January 1, 2018 | 1:14 pm    0   583

අවුරුදු 20ක් එකම කමිසය අඳින කොටි මරා දැමූ හමුදාවේ පළමු සෙබළියගේ තාත්තා කියන පුදුම කතාව

කොඳ මල් සිනාසේ
විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනති
සඳකැන් බිබී නෑවෙති

කිංකිණි නොසොල්ලා
නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ අෑ නිදී
මගෙ මැණික සුව සේ නිදී….

තාත්තා කෙනෙක් මේ තරම්ම පරිස්සමෙන් ආදරෙන් තමයි තමන්ගේ දූ සිඟිත්ත නිදි කරවන්නේ. තමන්ගේ දෝණිගේ සුව නින්ද තාත්තා කෙනෙකුට කෙයිතරම් වටිනවද කියලා මේ පද පේළිවලින්ම කියවෙනවා. දෙමව්පියන්ට දරුවෝ කියන්නේ රටක් රාජ්‍යයක්. ඒ ගැන ආයෙ ආයෙත් කියන්න ලියවෙන වචන අපරාදේ. ඒ තරමටම ඒ සබැඳියාව අමිලයි. මේ අතරේ තාත්තගෙත්, දුවගෙත්් තියෙන සම්බන්ධයට මේ ලෝකේ හැම බැඳීමක්ම යටයි කියලා වෙලාවකට හිතෙනවා. දුවෙක් නැති ගෙදරක් මලක් නැති හිස් මිදුලක් කියන්නා සේම දුවෙක් නැති තාත්තා කෙනෙක් මිණි කිරුළක් නැති රජෙක් වගේ කියලයි මට හිතෙන්නේ. මනෝ විශ්ලේෂකයෝ ඒ බැඳීම කොහොම විග්‍රහ කළත් ඒ බැඳීම හරිම ආදරණීයයි.

පුරුෂ මූලික ඓතිහාස සමාජය ඇතුළෙදි මේ බැඳීම සහතික කරන්න ගලක පත් ඉරුවක ලියලවත් සාක්ෂි ඉතුරු කරලා නැහැ. ඒත් ඉන් පසුව මේ දක්වා බිහිවෙන සාහිත්‍ය තුළ තාත්තාගෙත් දුවගේත් ආදරණීය සම්බන්ධය හරි අපූරු විදිහට සටහන් කරලා තිබුණා. ඒකට හොඳම උදාහරණය වුණේ සරත්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍යය. තමන් ආදරයෛන් රැකබලාගත් සියල්ලෝම සිංහයා හැර ගිය අවස්ථාවේදී ඔහු විශේෂයෙන්ම ප්‍රශ්න කරන්නේ තමන්ගේ දියණියගෙන්.

“සුරතල් දියණිය
මොළකැටි වදනින්
මා සනසන්නිය
අහර පිසන්නිය
කවන්නිය පොවන්නිය
මා ගැන බිය වන්නිය
වනයේ දුකක් වෙද
අසන්නිය සොයන්නිය..
ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියේ….?”

දියණියක් කොයිතරම් නම් තාත්තා කෙනෙක් ගැන සොයනවා දැයි මේ පද පේළිවලින් කියවෙනවා. ඒකයි ඕනම තාත්තා කෙනෙක් විශ්වාස කරන්නේ කවදාම හරි තමන්ගේ පුතා අහක බැලුවත් තමන්ගේ දෝණි කවදාවත්ම එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඕනම දුවෙක්ට විශ්වාසයි මේ ලෝකේ තමන්ව අඬවන්නේ නැතුව හමුදා බලඇණියක් ආවත් ආරක්ෂාව දෙන්න පුළුවන් මේ පොළොවේ පය ගහලා ජීවත්වෙන එකම පිරිමියා මගේ තාත්තා කියලා. ඒ දෙන්නගේ ආදරය හොරකම් කරන්න තවම කාටවත් පුළුවන් වෙලා නැහැ.

සාහිත්‍ය කතාවලට එහා ගියපු අපිට එදිනෙදා හමුවෙන තාත්තලාගේත්, දූවරුන්ගේත් ආත්මීය ආදර කතා අපට අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ මං අත්දැක්ක තාත්තා කෙනෙක් දුවකට තියෙන ආදර කතාවක් ගැන. ඒ තාත්තත් එක්ක කතා කළාට පස්සේ මට හිතුණේ ඔව් ඇත්තටම තාත්තා කෙනෙක්ට වගේ කෙල්ලෙකුට මේ තරම් කාලයක් ආදරය කරන්න කාටවත්ම බැහැ කියලා… මේ කියන්නේ ඒ ආදර කතාව.

මේ තාත්තගේ නම ඩේවිඩ්. සුදට සුදේ ඇඳගෙන අපේ ළඟටම ඒ තාත්තා ආවේ එයාගේ දූ ගැන කතාව කියන්න. “මට ඉන්නේ දුවලා තුන්දෙනෙක් විතරයි. තුන්දෙනාගෙනුත් මම මේ කියන්න යන්නේ මගේ ලොකු දුව ගැන. එයාගේ නම ඉරේෂා නිල්මිණී. එයා ඉගෙනගත්තේ නුගේගොඩ සෙන් ජෝසප් කන්‍යාරාමයෙන්. එයා ඉගෙනගන්න කාලේ හරිම දක්ෂයි. බාලදක්ෂ කණ්ඩායම, පාසල් තූර්යවාදන කණ්ඩායම, ශිෂ්‍ය නායක කණ්ඩායම මේ හැමදේකදිම එයා කැපී පෙනුණා. ඒ තරම් දක්ෂයි මගේ දුව. මෙහෙම ඉඳලා එයා උසස් පෙළ විභාගයත් පාස් වෙලා තව පාඨමාලා කිහිපයක් හැදෑරුවා. එයා හරිම ලස්සනයි.” ඒ තාත්තා එහෙම කියලා කතාව ටිකකට නැවැත්තුවා.

ඉස්සර ඉඳලම අපි අහලා තියෙන කතාවක් තමයි ගෙදරකට ඕන කටකාර පුතෙකුත් හැඩකාර දුවෙකුත් කියලා. මේ තාත්තතට හා හා පුරා කියලා ලැබුණු මේ දෝණිගේ කටකාර බවත්, හැඩකාර බවත් ඕනවටත් වඩා පිහිටලා තිබුණා වෙන්න ඇති. දිග හුස්මකුත් පිට කරලා ඒ තාත්තා ආයෙත් කතාව පටන්ගත්තා….

“මේ කාලේ තිබුණා දෙහිවල ගල්කිස්සේ රූප සුන්දරිය තෝරන තරගයක්. මගේ දුව ලස්සන නිසා අපි එයාව ඒකට ඉදිරිපත් කළා. එයා තරගෙන් ජයග්‍රහණයත් කළා. ඊටපස්සේ මිස් ජෙසි ක්වීන් ශ්‍රී ලංකා කන්ටෙස්ට් එකක් තිබුණා. ඒකෙනුත් එයා ඉස්සරහටම ගියා. මේ මොන දේ කළත් එයාගේ හිතේ තිබුණේ වෙන ආශාවක්. ඒ තමයි යුද හමුදාවට බැඳෙන එක. අනේ මන්දා ඇයි කියන්න. ඒත් එයා ඒකට යන්න හරිම කැමැත්තකින් තමයි හිටියේ.

මේ වෙනකොට එයා වැඩ කළේ නාරාහේන්පිට ආසිරි රෝහලේ පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට. ඉතින් මේ රෝහලට නාරාහේන්පිට යුද හමුදා පොලීසියේ අය යුනිෆෝම් එකෙන් ඇවිත් සමහර වෙලාවට බෙහෙත් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි එයාට තදින්ම මේ කැමැත්ත ඇති වුණේ.

ඒ වෙනකොට රටේ තදින්ම යුද්ධෙත් තිබුණා. ඒත් එයා එඩිතර වෙලා මේකට යන්නම ඕන කිව්වා. මම එතකොට පොලිස් මූලස්ථානයේ පරිපාලන අංශයේ කෙනෙක් විදිහට තමයි සේවය කළේ. ඉතින් මම කිව්වා පේනවනේ මම විඳින දුක. ඔයාටත් ඕන ඒකට යන්නද කියලා. ඒත් එයා කිව්වෙම ‘නෑ කමක් නෑ තාත්තේ මං යන්න ඕනෙ.’ කියලා. එයා අයදුම් පත්‍රයක් දැම්මා. ඒ තනතුරට ඉල්ලලා තිබුණේ 8දෙනයි. ඒත් අයදුම්පත්‍ර 8000ක් ඇවිත් තිබුණා. මම දන්නේ නැහැ දුවගේ වාසනාවට ද, අවාසනාවට ද කියලා. එයා ඒකට තේරුණා. ඒ යුද හමුදා පොලීසියට. අනුරාධපුර යාපනේ වගේම එයා කොළඹත් සේවය කරගෙන හිටියා හොඳින්.

එයා පවුලට හරිම ආදරය කළ දරුවෙක්. මට හොඳට මතකයි දවසක් ජූනි මාසෙක එයා නිවාඩුවට ගෙදර ආවා. ඒ එනකොට චීස් ටින් එකක් ගෙනත් තිබුණා. එයා ඒක හරියට කෑලි 5කට කපලා අපි හතර දෙනාට දුන්නා. මම පොඩි කෑල්ලක් කාලා ඉතුරු ටික නංගිලා දෙන්නට දුන්නා. ඒ දැකලා මගේ පස්සෙන් ඇවිත් ඇයි තාත්තා එහෙම කළේ කියලා අහලා එයාගේ කෑල්ල මට දුන්නා.”

ඒ තාත්තා ඒක කියනකොට කඳුළුවලින් ඇස් ගෙඩි දෙක පිරිලා ගියා… ඇත්තට දුවෙක්ට විතරමයි ඒ තරමටම තාත්තා කෙනෙක් වෙනුවෙන් හිත උණු වෙනවා ඇත්තේ. ඒකයි හැම තාත්තා කෙනෙක්ම දුවෙක්ව ප්‍රාර්ථනා කරනවා ඇත්තේ… ඒ කඳුළු මැදින් තාත්තා ආයෙත් කතාව පටන්ගත්තා.

“එදා 1996 දෙසැම්බර් 24 වෙනිදා එයා නිවාඩු ගත්තා. මමත් නිවාඩු ගත්තා ශ්‍රීපාදේ යන්න. අපි හැමදේම හදාගෙන හිටියේ. අපි කතෝලික නිසා, ආයේ එන්නේ ජනවාරිවල නිසා මම දුවට කිව්වා ඔෆිස් එකේ අයට කේක් එකක් ගිහින් දීලා එන්න කියලා. ඒ දීලා පහළට බහිනකොට තවත් නිලධාරියෙක් එයාට කිව්වා ඉරේෂා ඔයාට හෙට යාපනේ යන්න වෙනවා කියලා. මගේ දුව එතකොට නිවාඩු අරගෙන තිබුණේ. ඒත් එයා නිශ්ශබ්දව ඒකට මුකුත් නොකියම හා මම යන්නම් කියලා භාරගත්තා. ඉතින් ඒත් එක්කම අපේ ගමන් ඔක්කොම නවත්තලා එයා යාපනේ ගියා…”

ජීවිතේ සමහර අවස්ථාවලදී එක පෙළට සිදුවෙච්ච දේවල් දිහා ආයෙත් බලනකොට අපට හිතෙනවා අයියෝ ඇයි ඒ වෙලාවේ අපිට ඒක නවත්තගත්ත බැරි වුණේ කියලා. ඇයි අපිට එපා කියන්න, බැහැ කියන්න බැරි වුණේ කියලා. මේ තාත්තට දැන් එහෙම හිතෙනවා ඇති කියලා මගෙ හිත කිව්වා. ජීවිතේ එහෙමයි ගලාගෙන යන්නේ හරිම වේගෙන්. අපි පුළුවන් කියලා හිතුවත් සමහර දේවල් සිදුවෙන වේගෙට අපිට නවත්වගන්න බැරි වෙනවා. ඊට පහුවෙනි දවසේ මේ තාත්තට හරි නුහුරු සිදුවීමකට මුහුණදෙන්න වෙනවා. ඒ තමයි රාජගිරිය පල්ලියේ එම්.ජෝසප් පියතුමා මේ තාත්තගේ ගෙදර එන එක.

“පියතුමා ගෙට ගොඩවෙනකොටම ඇහුවේ ඔයගොල්ලො සිරීපාදේ යන්නනේ හිටියේ. ඇයි නොගියේ කියලා… මමත් ගත් කටටම ඇහුවේ අපි යන බව දන්නව නම් ඇයි ෆාදර් අපේ ගෙදර ආවේ කියලා. ඊට පස්සේ ෆාදර් කිව්වා, මම හීනයක් දැක්කා. ඒක කිව්වට කමක් නැද්ද කියලා…. ඒක හීනයක්නේ ෆාදර්. කමක් නෑ කියන්න කියලා මම කිව්වා. ෆාදර් හීනෙන් දැකලා තිබුණා මගෙ දුව බෝම්බයකට අහුවෙලා කෑලිවලට පිපිරිලා යනවා. ඒ 26 වෙනිදා හරියටම ෆාදර් එහෙම කියලා ගියා.”

අපේ ජීවිත ඇතුළේ සිද්ධ වෙන සමහර දේවල් හරිම අමුතුයි. ඒවා කොහොමද වුණේ සහ කොහොමද වෙන්නේ කියලා අපිට හරියට විස්තර කරගන්න බැහැ. අපි දකින හීනත් ඒ වගේ. සමහර වෙලාවට ඒ හීන අපිට මඟ කියනවා. මේකත් ඒ වගේ පෙරනිමිත්තක්.

“දුවේ මට වතුර ටිකක් දෙන්න.” කතාව ටිකක් නවත්තලා ඒ තාත්තා මගෙන් වතුර ටිකක් ඉල්ලුවා. එක හුස්මට වතුර බොනකොට මට දැනුණේ මේ කතාවේ ඒ තාත්තට කියාගන්න බැරිම කොටසට අපි ළඟා වුණා කියලා. ඒ පපුව වේගෙන් ගැහෙන වග වගේම වචනවල මීට කලින් තිබුණට වඩා හරිම අප්‍රාණවත් බවක් මට දැනුණා.
“එදා 1997 ජනවාරි 2දා උදේ. මට මං දන්න අඳුරන කෙනෙක් කෝල් කරලා කිව්වා මගේ දුවට කරදරයක් කියලා. මම ඒ ගමන්ම හමුදා ක¼දවරට ගිහින් හමුදාපතිතුමා හමුවෙන්න ගියා. ඒ වෙනකොට එහේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ යාපනේ කලබලයක් වුණා කියලා. ඒ අය මගෙන් ප්‍රශ්න කළා අපට කලින් ඔයාට කොහොමද පණිවිඩේ ආවේ කියලා. එයාලත් පුදුම වුණා. මම කීවේ මට ලැබුණු ආරංචියක් නිසා කියලා විතරයි. ඊට පස්සේ හමුදාපතිතුමා මාව නාරාහේන්පිට යුද හමුදා මූලස්ථානයට පිටත් කළා. මම එතැන දවල් 12.30, 1.00 විතර වෙනකම් හිටියා.” මේ ගෙවා දමපු හෝරාවන් කොහොමද කියලා අපි ඒ තාත්තගෙන් අහන්න ඕන නැහැ. අනන්තවත්, නොදැකපු දෙවියන්ගෙන් කන්නලව් කරන්න ඇති. දන්න යාතිකා ඔක්කොම එක හුස්මට කියන්න ඇති. ඒ වෙලාවේ… ඒත් සමහරු යන්න හදනකොට නවත්වන්න දෙවියන්ටවත් බැරි වෙනවා.

“තාත්තා කිව්ව ආරංචිය හරි. තාත්තගෙ දුවට පොඩි අනතුරක් වෙලා…” එක්තරා නිලධාරියෙක් ඇවිත් කියනකොට තමයි ඒ තාත්තට සිහිය එන්නේ. තාත්තා ගිහින් බනකොට එයාගේ දුවට වෙලා තිබුණේ කිව්වා වගේ පොඩි අනතුරක් නෙමෙයි. වෙන්න තියෙන ලොකුම අනතුර. දීග යවන්න මඟ බලාගෙන හිටපු ලොකු කෙල්ලව ඊටත් කලින් දෙව්ලෝකෙට යවන්න මේ තාත්තට සිද්ධ වෙනවා.

මේ ගමනත් එක්ක ඉරේෂා කියන්නේ යුද හමුදා පොලීසියේ මියගිය පළමු නිලධාරිනිය විදිහට ඇය ඉතිහාසගත වෙනවා. ඇය ගැන ඉතිහාස පොතේ මොන විදිහට ලියවුණත් ඒ තාත්තගේ හිතේ තියෙන්නේ එයාගේ ලොකු දුව යන්න ගියා කියලා විතරමයි. ඇය මියගිහිල්ලා මේ ජනවාරි 2 දාට අවුරුදු 21ක් පිරෙනවා. ඒත් ඒ තාත්තගේ ඇස්වලින් එන කඳුළු තවමත් උණුසුම්. අවුරුදු 21කට කලින්දා වගේම.

ඉරේෂා මියයන්න කලින් අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාට අඳින්න ඇය ගෙනත් දීලා තිබුණා තාත්තට නිල් කොටු තියෙන කමිසයක්. හැබැයි ඒ කමිසය අඳින්න වුණේ ඉරේෂාගේ මරණ ගෙයට කියල තමයි තාත්තා කියන්නේ. කතාව අහන් ඉන්න අපෙත් ඇස් කෙවෙනි රතු වෙන්න ගත්තේ ඒ තාත්තා කියපු ඊළඟ වචන ටික ඇහුවම. “මම අදටත් හැම අවුරුද්දකම ජනවාරි 2දාට මේ කමිසය අඳිනවා පුතේ. එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නව ඇති. සතියකට දෙවතාවක් විතර මම තාමත් හීනෙන් දකිනවා එයාව. ඇවිත් මාත් එක්ක කතා කරලා යනවා.”

මේ ඩේවිඩ් තාත්තා රෝමානු කතෝලික භක්තිකයෙක්. ඔහු විශ්වාස කරනවා මියගිය සියල්ලෝම ලෝකාන්තයේදී හමුවෙනවා කියලා ආයෙත් එකට. මේ තාත්තා ඇඟිලි ගනිනවා ඇත්තේ ඒ හමුවීමට ද කියලා මට හිතුණා. තාත්තා කෙනෙකුගේ හිතේ දුවෙක් වෙනුවෙන් කොයිතරම් ඉඩක් තියෙනවද, කොයිතරම් ගැඹුරු ආදරයක් තියෙනවද කියලා ආයෙත් හිතන්න මේ කතාව අපට බලකරනවා. ඉරේෂා මියගිහින් අවුරුදු 21කට පස්සෙත් තවමත් දුව එක්ක හීනෙන් මේ තාත්තා කතා කරන්නේ ඒ ආදරේ නිසා. දුවෙක්ට මේ වගේ ආදරයක් ලබන්න පුළුවන් වෙන කාගෙන්ද?

මේ කතාවේ ආරම්භය කොහොම ගත්තත් ඒකේ අවසානය ලියවෙන්න ඕන විදිහක් මට හිතාගන්න බැහැ. මේ ලිපිය ලියන එක නතර කරලා ගමේ ගිහින් මගේ තාත්තා එක්ක මට ටිකක් කතා කරලා ළඟින් ඉඳලා එන්න ඕන කියලා හිතුණා. වචනයෙන් කියන්න බැරි ලොකු ආදරයක් එයත් හිතේ තියන් ඇති කියලා මට හිතුණා මේ වගේම. ඒක මේ වැඩ රාජකාරි අස්සේ මඟහැරගන්න මට ලෝබ හිතුණා. ඩේවිඩ් මහත්තයගෙත්, එයාගේ දුවගෙත් බලාපොරොත්තුව වෙන්නේ ලෝකන්තයේදී ඒ දෙන්නා ආයේ මුණගැහෙන්න. මේ කතාව අහපු මම බෞද්ධයෙක් නිසා මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මේ තාත්තගේම දුව වෙලා ආයෙත් මේ සංසාරෙදි මුණගැහෙන්න ඉරේෂාට පුළුවන් වෙන්න කියලා විතරමයි….

උපුලි පුන්සරා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: